• ච්ත්‍රපටයක්

    ලංකාවේ හොඳ සිනමා නිර්මාණවල අඩුවක් තියෙනවා කියන එක බොහෝදෙනා සඳහන්කරන කාරණයක්. ඇත්ත​. නමුත්, ලංකාවේ හොඳ නිර්මාණ නැතුවාම නෙවෙයි. ප්‍රශ්නය​, ගුණාත්මක බවින් අඩු නිර්මාණවලට වැඩි ප්‍රචාරණයක් ලැබීම​. ලංකාවේ සිනමාපට Hollywood හා Bollywood නිර්මාණ සමඟ සැසඳීම මම කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැහැ.
    2009 ආසන්නයේ සිට මේ දක්වා නිර්මාණයවුනු බොහෝ සිනමාපටවලට යුද්ධය සෘජුවම හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධවුනා. ඒ අතරින්, වඩාත් නිර්මාණාත්මක හා මානුෂීය ගුණයන් ඉස්මතුකෙරෙන නිර්මාණ කිහිපයක් සංවාදයට බඳුන් කළ යුතු යැ'යි හැඟුණා. ඒ සියල්ල එක පෝස්ටුවක් ලෙස සකස් කළ හැකිව තිබුනත්, මාගේ පරමාර්ථය මේ සියල්ල පිළිබඳ පුළුල් ලෙස අදහස් විමසුමට ලක්කිරීමයි.

    "සැමීගේ කතාව​" ඒ සඳහා ප්‍රවේශයක් ලබාගැනීමට යෝග්‍ය නිර්මාණයක් යැ'යි සිතනවා.  සැමීගේ ස්වභාවය - සැමී හිස සහ පිටකොන්ද කෙළින් කරගෙන​ ඈත බලා සිටින දාර්ශනිකයෙකු හෝ වීරයෙකු නොවේ. ඔහු සිටින්නේ බිම බලාගෙනය​.
    කතාව ආරම්භවන්නේ අහිමිවීම පිළිබඳ ඉඟියක් ප්‍රේක්‍ෂකයාට දනවමිනි. ඒ සැමීගේ හොඳම මිතුරාගේ වියෝවයි. ඉන්පසු, එකිනෙක හමුවීම් හා වෙන්වීම් කතාව පුරාවට දිගහැරේ. "ජීවිතයේ ඇත්තේ යාම් ඊම් පමණකි.
    නෑවිත් යන්ට බැරිය​. නොගොස් එන්ට බැරිය​." යන පාඨය සිහිපත් වුවද​, මේ ගිය කිසිවෙක් යළි නොඑන බව දනිමු.
    සැමී දුටු සැනින් කෙනෙකුට පෙනෙන්නේ ඔහුගේ භාහිර ස්වරූපයයි. එය මා කලින් සඳහන් කලෙමි. නමුත්, සැමී අභ්‍යන්තරයෙන් එතරම් දුර්වලයෙක්ද​? සැමී විශාල දරාගැනීමේ ශක්තියක්, ධෛර්‍යයක් ඇත්තෙකි. තම සමීපතමයන් තමන් හැර යන විට ඒ පිළිබඳ වේදනාවක් ඔහුට නොමැත්තේ නොවේ. එය ඔහුට වේදනාවකි. එහෙත්, ඔහු ඒ සියල්ල දරාගනී.
    අනෙක් අයට මෙන් ඔහු සනසන්නට කිසිවෙකුත් නැත​. ඔහු වැළඳගන්නට, ඔහු හා දුක බෙදාගන්නට කිසිවකුත් නැත​. නමුත්, ඒ සියල්ල ඔහු තනිවම දරාගනී. සැමී ශක්තිවන්තයෙකු ලෙස මා දකින්නේ එබැවිනි.

    "සැමීගේ කතාව​" ගැඹුරු අරුත් දනවන චිත්‍රපටයකි.
    සැමී හිස් මිනිසෙකි. ඔහු නියෝජනය කරන්නේ අපවයි. මන්ද​, අප හිස් මිනිසුන් ය​. අපව පුරවන්නේ සමාජයයි. එනම්, සමාජයේ මතය අපගේ පෞද්ගලික මතය බවට පත් වේ. සැමීට සිදුවන්නේද ඒ දෙයමයි. සැමී වර්ගවාදියකු හෝ ජාතිවාදියකු නොවේ. ඔහු හිස්‍ ය​.
    සැමීගේ බාල සොයුරා, එමෙන්ම එකම සොයුරා හමුදාවට ගොස් යුද්ධයේදී ත්‍රස්තවාදීන් අතින් මියයයි. එය සැමීට මහත් වේදනාවකි. සමාජය ක්‍රියාත්මකවන්නේ මෙහිදීය​. රිදෙන තැනට එල්ලකරන පහර වඩාත් ප්‍රබලය​. රිදෙන තැනට පහරදීමට තරම් සමාජය සූක්‍ෂමය​. තම සොයුරා මරාදැමුවේ දෙමළුන් යැ'යි සමාජය විසින් සැමීට ඒත්තු ගන්වයි.
    සැමී තවදුරටත් හිස් මිනිසකු නොවේ. දැන්, ඔහුට මතයක් ඇත​. ඒ, දෙමළුන් යනු ත්‍රස්තවාදින්ය යන සමාජය විසින් ඔහුට කැවූ මතයයි.
    සැමී රැකියාවක් සොයා නගරයට එන්නේ මේ මතයද රැගෙනය. එහිදී,  ප්‍රථමයෙන් යන නිවසේදී ඔහුට තාඩන පීඩන රැසකට මුහුණදීමට සිදු වේ. එපමණක් නොව, නිවසෙහි සිටින තමන්ට වඩා වයසින් ද බෙහෙවින් වැඩි සේවිකාවගේ අයුතු ලිංගික යෝජනාවන්ට පවා මුහුණදීමට සිදුවේ.
    දෙවන අවස්ථාව මීට හාත්පසින් වෙනස්‍ ය​. මිනිසුන්ට මිනිසුන් ලෙස සලකන ආදරණීය මිනිසුන් සිටින නිවසක් ඔහුට ලැබේ. නමුත්, එක් ගැටලුවක් ඇත​. නිවසෙහි අනිත් සේවකයන් දෙදෙනා දෙමළ අයයි. සැමී ඔවුන් හා එකට හිඳ ආහාරගැනීමට පවා අකමැතිය​. නිදාගැනීමට අකමැතිය​. අඩුම තරමේ මුහුණුවත් දැකීමට අකමැතිය​. ඔය අතර නිවසේ හාම්පුතුගේ දරුවන් රට සිට පැමිණේ.
    සැමී ඔවුන් සමඟද කුලුපග වේ. පිරිමි දරුවාගේ පෙම්වතියද ඉතාමත් හොඳ ගතිගුණවලින් යුක්තය​. සැමී ඈ කෙරෙහිද ප්‍රියතාවයක් දක්වයි. එහෙත්, අවසානයේ ඇයද දෙමළ බව දැනගන්නා සැමී, ඇය සියල්ලන් රැවටූ බව සිතයි. "මෙයා දෙමළ​" යැ'යි කෑගසන්නේ එනිසාය​. සිංහල තරුණයෙක්, දෙමළ තරුණියක් විවාහ කරගැනීම සැමීට අදහාගත නොහැකි ප්‍රශ්නයකි.
    නමුත්, ජාතිය​, ආගම, කුලය කුමක්වූවත්, මිනිසුන් සියල්ල එක හා සමාන බව සැමී දැනගන්නේත්, විඳගන්නේත්, ගමේදි නොව නගරයේදීය​. කතාවේ කේන්ද්‍රීය චරිතය බවට පත්වන්නේ සැමී වුවද​, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාව එක හා සමාන බව අවසානයේදී ප්‍රේක්‍ෂයකයාට අවබෝධ කරවයි. තත්ත්වය​, තරාතිරම​, ජීවන රටාව වෙනස් වන්නට පුළුවන​. එහෙත්, මනුෂය සන්තානයේ හටගන්නා හැඟීම් එක හා සමානය​. ගමෙන් ආ සැමීටත්, දෙමළ මිනිහාටත්, වලව්වේ බේබිහාමුටත් පොදු වූ ධර්මතාවයකි එය​.

    (අවසානය ගැන ලොකුවට කියන්න යන්නෙ නැහැ නරඹපු නැති අයත් ඉන්න පුළුවන් නිසා. බැලුවේ නැත්තං අනිවාර්‍යයෙන් බලන්න​. හොඳයි, සුපිරි, චාටර් වගේ ප්‍රතිචාර නැතුව වැදගත් දෙයක් කියන්න කියලා ආරාධනා කරනවා.)

    - ශිලා නෙතු -

    (2017 අගෝස්තු 1 වන දින 'අපි නැරඹූ චිත්‍රපට' හා 'සිනමාවේදීන්' සමූහයන් සඳහා මා විසින් සපයන ලද ලිපියකි.)
  • You might also like

    No comments:

    Post a Comment